Action with a heart Headline Animator

Monday, August 23, 2010

අපහාස කරමින් කේළම් කියන්නේ

මෙලොව ඉපදෙන මිනිසා තම ඉපදීමත් සමඟ බොහෝ හොඳ දෑ දරාගෙන ලොව දෙස දෑස්‌ හැර බලයි. එහෙත් ඒ බලන අහන සෑමවිටකම තිබූ ගුණාත්මක ගති ලක්‌ෂණ අතරට ලොව ඇති "නරක" ද පුරවාගනී. දවසක්‌ ආරම්භයේ හා අවසානයේ මේ හොඳ නරක පිළිබඳව විශ්ලේෂණයක්‌ තමා පිළිබඳව තමාටම කරගත හැකි නම් එය කොතරම් දුරකට අවබෝධයෙන් පාලනය කර හැකිද යන්න ඔබටම වැටහෙනු ඇත.කිසිදිනක මෙවැනි සිතුවිල්ලක්‌ ඇති වී නොමැති අයෙකුට වුව අද සිට එවන් සිතුවිල්ලක්‌ ඇතිකරගැනීමෙන් ජීවිතයට නව අරුතක්‌ සේම ප්‍රබෝධයක්‌ද එක්‌කරගත හැකිය. ගෙවුණු දවස පිළිබඳව මොහොතක්‌ මෙනෙහි කරන්න. අද දවසේ මට, මගේ පවුලට, සමාජයට කරන ලද "නරක" දෑ ඇද්ද? අද දවසේ මා හට කිරීමට තිබූ වැඩක්‌ නොකර සිටීම නිසා තමන්ට කනස්‌සල්ලට පත්වීම, පවුලේ කෙනෙක්‌ අසනීපයෙන් සිටියද එය නොසළකාහැරීම, ඉදිරියට ආ යාචකයෙකුට බැණවැදීම, තමාගේ නිවසේ තිබූ කුණුකසල පාරට විසිකිරීම රාජකාරි කාලය තුළ හරිහැටි එය ඉටුනොකිරීම, යමෙකුගේ අඩුපාඩුවක්‌ අනිසි ලෙස විවේචනය කිරීම හා හාස්‍යට ලක්‌කිරීම ආදි බොහෝ දේ එහි තිබෙන්නට පුළුවන. ඒ එකින් එක පිළිබඳව සිතන්න. මේවා වඩා ශුභදායි ලෙස අර්ථාන්විතව වෙනස්‌කරගන්නේ කෙසේද? දැන හෝ නොදැන සිදු වූ එම අඩුපාඩු සකසාගැනීම තුළින් දිනෙන් දින සාර්ථක පුද්ගලයෙක්‌ බවට පත්වීමේ සිහිනය ඔබට පෙනිය යුතුය. එසේම ඔබ විසින් දවස තුළ කරන ලද හොඳ දේද මෙනෙහි කිරීමෙන් තමා තුළ ඇති වටිනාකමද දැනගත හැකිය. කෙනෙකු උත්සාහ කළ යුත්තේ දිනෙන් දින තමාව "පිරුණු" පුද්ගලයෙකු බවට පත් කිරීමටයි. එසේ නොවුන පුද්ගලයා ජිවිතයේ වසර ගණන් ගෙව්වද එකම තැන පල්වෙමින් පශ්චත්තාපයට හා ඉඡ්ජාභංගත්වයට පත් වී ජිවිත නීරස කරගනිති.මේ ආකාරයට තමාව නිවැරැදි මාවතකට ගෙනයන්නා තුළද ජීවිතයේ අවසන් දවසේදි වුව වැරදි අඩුපාඩු තිබිය හැකියි. එහෙත් එම පුද්ගලයා අනෙක්‌ පුද්ගලයන් අතරේ සුවිශේෂි මනුෂ්‍යත්වයක්‌ තුළ ජීවත් වූ බව නම් සත්‍යකි. එසේම මෙම කටයුත්ත කිරීමට ආරම්භ කරන යුගය තුළ ඔබට දැඩි වෙනසක්‌ සතුටක්‌ හා ප්‍රබෝධයක්‌ දැනෙන්නට පටන්ගනී. ඒ වෙනස ඔබට මෙන්ම ඔබ අවට සිටින්නන්ටද පෙනෙන්නට පටන් ගනී. ඉපදී යම් දවසක නිත්‍ය වශයෙන්ම මොලොව හැර යන අප සියළුදෙනා ගතකරන තත්ත්පරය ඵලදායි ලෙස යොදා නොගත්තේ නම් අප ගන්නා හුස්‌මට අප ණයගැතිය.මෙලොව ඇති දියුණුම ස්‌වභාවික සම්පත "මිනිසායි" එවන් දියුණුම පුද්ගලයෙක්‌ ලෙස මෙලොව එළිය දකිනට අපට එම දියුණු තත්ත්වය මොහොතින් මොහොත රැකගැනීමට සිදුවේ. එය ලෝකය තුළ සැබෑවටම ජීවත්වන්නාගේ ලක්‌ෂණයකි. එය අවදියෙන් සිටින්නාගේ ගුණයකි. සමහරුන් සිටින්නේ නිද්‍රවකය. ඔවුන්ට සමාජය තම පවුල පිළිබඳව පමණක්‌ නොව තමා පිළිබඳවවත් හැඟීමක්‌ නැත්තේය. ඒ පිළිබඳව සිතන්නට සිතක්‌ නැතිසේය. උදේ රෑ ගෙවමින් ජිවිතය ඔහේ ගෙනයන ඔවුහු ජිවිතයට අර්ථයක්‌ නොසපයයි. ජීවිතය මෙසේ පටන්ගන්නට දිනයක්‌ නැත. නැකතක්‌ නැත. තමා කවුද? තම වටපිටාවේ සිටින්නේ කවුද? යන්න පිළිබඳව අවබෝධයෙන් මෙන්ම මානව දයාව පෙරටුකොට ගෙන බැලිය යුතුය. ඔබ අද දවසේ කී දෙනෙකුට සිනාවෙන්වත් සංග්‍රහ කළේද? අද දවසේ යමෙකුට යම් උදව්වක්‌ කළේද? ඔබට අද කී දෙනෙක්‌ ශුභ ප්‍රාර්ථනා කළේද? ඔබ කී දෙනෙකුට ශුභ ප්‍රාර්ථනා කළේද? ඔබට කී දෙනෙක්‌ "ස්‌තුතියි" නැතහොත් " පින් කියා කීවේද? ඔබ එසේ කී දෙනෙකුට කීවේද? ඔබ යමෙකු නොසළකා හරිනු වෙනුවට විශේෂ අවධානයෙන් කටයුතු කළේද? කිසිවෙකුටත් උදව් කළේද? මේ කිසිත් සිදුවී නැත්නම් එම ගතකළ දිනයේ ඇති ඵලය කුමක්‌දැයි ඔබටම වැටහෙනු ඇත.සිත හදාගන්න. මෙය මතකයේ තබාගන්න. තමා ඉදිරියේ හමුවන පුද්ගලයාට ගෞරව කරන්න. යම්කිසි උදව්වක්‌ ඇත්නම් කැමැත්තෙන් ඉටුකරන්න. මෙය සෑම මොහොතකම ඔබේ දෛනික අවශ්‍යතාවක්‌ සේ සළකා ඉටු කරන්න. මෙසේ නොසිතූ ක්‍රියා නොකළ පුද්ගලයාට වඩා මෙසේ කටයුතු කරන පුද්ගලයා කෙතරම් ප්‍රසන්න කෙනෙකුදැයි ඔබටම වැටහෙනු ඇත. ඒ පුද්ගලයාට දිනෙන් දින සමාජයෙන් ලැබෙන ගෞරවය පිළිගැනීම පිළිබඳව ප්‍රීතියට පත්වනු ඇත. ඔබෙන් පිටවන ඒ ගුණ සුවඳ වෙනුවට ඔබට පෙරළා ලැබෙන ආශිර්වාදයේ මහිමය අත්විඳ බලන්න. මුළු විශ්ව ශක්‌තියම ඔබ ආරක්‌ෂා කරනු ඇත. මා විසින් මෙහෙයවන ලද බොහෝ වැඩමුළුවලදී මේ ආකාරයෙන් කටයුතු කිරීම නිසා තම ජීවිතය පිබිදුන ආකාරය පිළිබඳව සතුටු සිතින් කතා කරන්නෝ දහස්‌ ගණනක්‌ හමුවී ඇත. කුසට ආහාර දමා ගන්නා සේ මනසටද ඒ ගුණාත්මක ආහාර ලබාදීම ඔබේ යුතුකමකි. ඔබට නොපෙනෙන ඔබේ අඩුපාඩු හා පෙනෙන අඩුපාඩු සකසා ගැනීම තුළින් ඔබට ලැබෙන නව ජිවනයේ මහිමය අත්විඳිය හැක්‌කේද ඔබටම පමණෙකි. (Nawaliya)

No comments: