Action with a heart Headline Animator

Monday, August 23, 2010

විදුලිය පාවිච්චියේ දී පරිස්‌සමින් කටයුතු කරන්නේ කොහොමද?

මේ ගෙවන්නේ පාසල් දරුවන්ගේ නිවාඩු කාලයයි. ඒ නිසාම බොහෝ මව්වරුන්ට වසරේ අනිකුත් කාල සීමාවන්ට වඩා මේ කාල සීමාව යම් දුරකට කාර්ය බහුලයි. ඒ දරුවන් නිවසේ දුව පැන සෙල්ලම් කරන නිසාවෙන් ගේදොර අපවිත්‍ර නිසා. එසේ නොමැතිනම් දරුවන් දුව පැන සෙල්ලම් කරද්දී ඔවුන්ට තහංචි පැනවීමට පිටුපසින් දුවන්නට සිදුවන නිසාවෙන්. සැබැවින් ම දරුවන් සෙල්ලම් කරන විට ඔහු හෝ ඇය තම සිත ගිය ක්‍රීඩාව ගැන සිතනවා මිසක එහි අවධානමක්‌ ඇද්දැයි මොහොතකටවත් සිතන්නේ නැත. ඒ ළමාවියේ ස්‌වභාවයයි.දුවන්ට එපා. උඩ පනින්න එපා. ගස්‌ නගින්න එපා. කෑගහන්න එපා... යෑයි තහංචි දැම්මාට දරුවන් ඒවා අහන්නට සූදානම් නැහැ. මේ පාසල් නිවාඩුව ලැබී ඇත්තේ දරුවන්ට සෙල්ලම් කරන්නටයි. ඒ නිසා තහංචි දමමින් දරුවන් එක තැනක සිරකර තබන්නට උත්සාහ ගන්නවාට වඩා දරුවන් ගැන අවධානයෙන් සිටීම ඉතා සුදුසුයි.පසුගියදා රත්නපුර ප්‍රදේශයේ දරුවන් තිදෙනෙකු රඹුටන් කඩන්නට ගොස්‌ රඹුටන් ගස ආසන්නයෙන් ඇඳ තිබූ අධිබලැති විදුලි රැහැනක්‌ නිසා විදුලි සැර වැදී මිය ගිය පුවත ඔබට දැන් අලුත් ප්‍රවෘත්තියක්‌ නොවේ. සරුංගල් යවන්නට ගිය දරුවෙකුටද විදුලි සැර වැදුණු පුවතක්‌ පසුගියදා අපට අසන්නට ලැබුණා. ඒ මතුද නොවෙයි. නිවසේ ඇති රූපවාහිනිය නරඹන්නට ඇන්ටනා සවිකරද්දී විදුලි සැරවැදි මිය ගිය අයවලුන් ගැන පසුගිය කාලයේ අපට නිතර අසන්නට ලැබුණු පුවත් අතර වෙයි. මේ සියල්ල අපට අසන්නට දකින්නට සිදුවූයේ එම අනතුර ඇති වූවන්ගේ නොදන්නාකම ගැන නිසා නොව නොසලකිලිමත්කම නිසාය. ඒ නිසා මෙවැනි අනතුරු ගැන දරුවන් දැනුවත් කර තැබිය යුතු අතර වැඩි හිටියන් ද දරුවන් ක්‍රීඩා කරද්දී නැතහොත් වෙන යම් දෙයක නිරත වී සිටියදී ඒ පිළිබඳව අවධානයෙන් සිටිය යුතුය. එසේ වූ විට බොහෝ අනතුරු වළක්‌වා ගත හැකියි. අද අප ඔබේ අවධානය යොමු කරන්නේ දරුවන් මේ නිවාඩු කාලයේදී විදුලි සැර වැදීමේ අනතුරින් වළක්‌වා ගන්නේ කෙසේද යන්න පිළිබඳවයි. බොහෝ විට නිවසේදී විදුලි සැර වැදිය හැක්‌කේ විදුලි උපකරණ භාවිතයේදීයි. එනම් රෙදි මදින විට. විදුලි කේතල රයිස්‌ කුකර භාවිතය ටීවී කැසට්‌ වැනි යන්ත්‍රවලට විදුලි සම්බන්ධ කිරීමේදී එමෙන්ම නිවසේ ඇති වෙනත් විදුලි උපකරණ පිළිබඳව විශේෂයෙන් ප්ලග් වැනි දෑ පරීක්‌ෂා කිරීමට යාමෙනි. මෙය ලොකු කුඩා කාටත් සිදුවිය හැකි අනතුරුය. ඒ හෙයින් ඔබ මෙන්ම ඔබේ දරුවන් ආරක්‌ෂා කර ගැනීමට ඔබ සැලකිලිමත් විය යුතුය. සාමාන්‍යයෙන් ශරීරයට විදුලි සැර වැඳුණු විට එම ස්‌ථානය පිළිස්‌සීමකට ලක්‌වෙයි. එමෙන්ම එලෙස එක ස්‌ථානයකට වැදෙන විදුලි සැර පිටවන්නේ තවත් ස්‌ථානයකිනි. ඒ අනුව විදුලි සැර ගමන් කරන මාර්ගයේ ඇති සම මාංශපේශි ස්‌නායු ආදියට අනතුරු සිදුවෙයි. සාමාන්‍යයෙන් විදුලිසැර වැදි මාංශපේශි පිළිස්‌සුණු විට මාංශ පේශි වලින් රුධීරයට එකතුවන මයෝග්‍රොබින් වකුගඩු හරහා පෙරිමේදී පෙරෙන සිදුරුවලට බාධා ඇති වී මුත්‍රා නිසි ලෙස පෙරීම ඇණ හිටියි. මේ හේතුවෙන් වකුගඩු අක්‍රීයවෙයි. එමෙන්ම ස්‌නායුවලට හානි පැමිණෙයි. විදුලි සැර වැදීමෙන් ස්‌නායු වියළි ස්‌වභාවයකට පත්වෙයි. මෙම තත්ත්වය දීර්ඝ කාලයක්‌ තිබීමට පුළුවන.හදවතේ මාංශපේශි ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම පාලනය වන්නේ හදවතක්‌ තුළම ක්‍රියාත්මක වන විද්යුත් ක්‍රියාවලියක්‌ මගිනි. එය අපට සාමාන්‍යයෙන් ECG පරීක්‌ෂණයක්‌ මගින් අවබෝධ කරගත හැකියි. හදවත සුළු විදුලි සැර වැදීමකට හසුවුණත් අධි විදුලි සැර පහරකට ලක්‌වුවත් හදවතේ සිදුවන ක්‍රියාවලියට හානි පැමිණෙයි. මෙවන් විටක විදුලි සැර වැදුණු සැනින්ම හදවතේ ක්‍රියාකාරීත්වයට බාධා පැමිණීමට හෝ එය අක්‍රමවත් වීමට හැකි අතර ඉන් ක්‌ෂණික මරණයක්‌ සිදුවිමටත් හැකියි. ඒ නිසා දෙමාපියන් දරුවන් නිවසේ සිටින විට වඩාත් කල්පනාකාරිවිය යුතුය. විදුලිය අපට මේ වන විට නැතිවම බැරි දෙයක්‌ වුව විදුලිය පරිහරණය කිරීම ඉතා ප්‍රවේශමෙන් කළ යුතුය. කෙනෙකුට විදුලි සැර වැදීමට හැකි අවස්‌ථා අතර පහත දැක්‌වෙන කරුණු ප්‍රධාන තැනක්‌ ගනියි. අනාරක්‌ෂිත තාවකාලික විදුලිකම්බි (වයර්) සම්බන්ධතා මගින්, විදුලිය කාන්දුවන විදුලි උපකරණ මගින් විදුලි උපකරණ භාවිතයට යාමෙන්, අනාරක්‌ෂිත විදුලි පේනු මගින්, ළමයින් විදුලි උපකරණ අලුත් වැඩියාවට යාමෙන්, විදුලියෙන් ක්‍රියාකර වතුර මෝටර් ක්‍රියාත්මක කිරීමට යාමෙන් නිවස තුළදී දරුවන්ට විදුලිසැර වැදීමට පුළුවන. එමෙන් එළිමහනේදී දරුවන් ක්‍රීඩා කරද්දී විශේෂයෙන් සරුංගල් යෑවීමේදී ඒවා විදුලි රැහැන්වල පැටලී ගැනීමට යාමේදී එමෙන්ම අධි බල විදුලි රැහැන් ආශ්‍රිත ඇති පලතුරු ගස්‌වලට නැගීමෙන් රිටි ඇනීමෙන් ඒවා කම්බිවල පැටලීමෙන් විදුලි සැර වැදීමට පුළුවන.ප්‍රථමාධාර පළමුවෙන්ම කළ යුත්තේ විදුලි සැරවැදුණු තැනැත්තා විදුලි සම්බන්ධතාවෙන් ඉවත්කර ගැනීමයි. ඒ සඳහා එම ස්‌ථානයට විදුලිය සපයන ප්‍රධාන විදුලි සම්බන්ධතාව අක්‍රිය කරන්න. වියළි දණ්‌ඩක්‌ උපයෝගී කරගෙන විදුලි සම්බන්ධතාවෙන් වෙන් කර ගන්න. කිසිවිටකත් රෝගියා විදුලිය සමඟ සම්බන්ධ වී සිටින විට අල්ලන්ට යාමෙන් වළකින්න.විදුලි සම්බන්ධතාවෙන් ඉවත්කරගත් රෝගියා සමතලා බිමකට ගෙන ගොස්‌ තබන්න. ශ්වසන මාර්ගය අවහිර නොවන ඉරියව්වක රෝගියා තබන්න. හෘදය අක්‍රීයව ඇත්නම් කෘත්‍රිම සම්බාහනය ආරම්භ කරන්න. ස්‌වසනය නැවතී ඇත්නම් කෘත්‍රිම ස්‌වසනයද ආරම්භ කළ යුතුය. රෝගියා වහාම රෝහල් ගත කරන්න. රජයේ රෝහලක්‌ නම් වඩාත් සුදුසුය. එවිට රෝගියා සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සම්බන්ධයෙන්ද උපදෙස්‌ ලබා ගත හැකිය.වදුලි සැර වැදීමෙන් වැලකීමට පලග් සවි කිරිමේදී ඒවා කුඩා දරුවන්ට පහසුවෙන් අතපත ගෑමට නොහැකි උසකින් සවිකරන්න. එමෙන්ම නිවසේ ප්‍රධාන විදුලි ස්‌විචය පිළිබඳව නිවසේ සිටින සියලු දෙනා දැනුවත් කරන්න. නිවසේ ටි්‍රප් ස්‌විචයක්‌ තිබේනම් මසකට වරක්‌වත් එහි ක්‍රියාකාරීත්වය නිසි පරිදි සිදුවේදැයි පරීක්‌ෂාකර බලන්න. විදුලි රැහැන් ආශ්‍රිතව දරුවන්ට ගැවසීමට ඇති අවස්‌ථා අවම කරන්න. පළතුරු ගස්‌ ආදිය විදුලි රැහැන් ආශ්‍රිතව සිටුවීමෙන් හා දැනටමත් ඇත්නම් කපා ඉවත්කරන්න.(Nawaliya)

No comments: