Action with a heart Headline Animator

Tuesday, August 24, 2010

සීගිරිය සංරක්‍ෂණයට පියවර ගන්න

ජනාධිපති සීගිරි ගුහාව නැරඹීමෙන් පසු උපදෙස්‌ දෙයි

සීගිරිය සිතුවම් ගුහාවේ බිතු සිතුවම් අව පැහැ ගැන්වීම සහ දුර්වර්ණ වෙමින් පැවැතීම පිළිබඳව දේශීය හා විදේශීය විද්වතුන්ගේ සහාය කඩිනමින් ලබාගෙන සංරක්‍ෂණයට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් සීගිරිය නැරඹීමට පැමිණෙන දෙස්‌ විදෙස්‌ සංචාරකයන්ගේ ආකර්ෂණය වැඩිවන අයුරින් අවශ්‍ය යටිතල පහසුකම් සඳහා දෙමසක්‌ ඇතුළත පියවර ගන්නා ලෙසත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අදාළ අංශවලට උපදෙස්‌ දුන්නේය.ජනාධිපතිතුමා ඊයේ (23 දා) සීගිරිය සිතුවම් ගුහාව නැරඹීමෙන් පසු පැවැති සාකච්ඡාවකදී මෙම උපදෙස්‌ ලබා දුන්නේය.සිතුවම් ගුහාවේ කාලයක්‌ තිස්‌සේ සිතුවම්වල සිදුවෙමින් පවතින තත්ත්වය නිරීක්‍ෂණය කළ අතර එහිදී පුරාවිද්‍යා අංශ නිලධාරීහු ජනාධිපතිවරයාට පවතින තත්ත්වය පිළිබඳ කරුණු අවබෝධ කර දුන්හ. අව පැහැ ගැන්වූ චිත්‍ර පිළිබඳව විද්වතුන්ගේ සහාය ලබාගන්නා ලෙස මෙහිදී ජනාධිපතිවරයා අදාළ අංශවලට උපදෙස්‌ දුන්නේය.ජනාධිපතිවරයා සීගිරිය නරඹා ආපසු එමින් සිටියදී දෙස්‌ විදෙස්‌ සංචාරකයන් මුණගැසී ඔවුන් සමඟ කෙටි සුහද කතාබහක ද නියෑළුනේය.පසුව සීගිරිය කෞතුකාගාර පරිශ්‍රයේදී සංස්‌කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, මධ්‍යම පළාත් මහ අමාත්‍ය සරත් ඒකනායක, මාතලේ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් වසන්ත පෙරේරා ඇතුළු දඹුල්ල, ගලේවෙල ප්‍රාදේශීය සභා නියෝජිතයන්, සීගිරිය සුරැකීමේ සංවිධානයේ නියෝජිතයන්, අමාත්‍යංශ නිලධාරීන් රැසක්‌ සහභාගි වූ සාකච්ඡාවකට ද සහභාගි විය.මෙහිදී ඉදිරිපත් වූ අදහස්‌ සැලකිල්ලට ගත් ජනාධිපතිවරයා සීගිරිය පූජා භූමියක්‌ නොව එය ඓතිහාසික ජාතික උරුමයක්‌ බවත් එය ආරක්‍ෂා කිරීම ජාතික වගකීමක්‌ බවත් පෙන්වා දුන්නේය. සීගිරියේ ඓතිහාසික පුරාවිද්‍යාත්මක හා සංස්‌කෘතික වටිනාකම් ආරක්‍ෂා වන අයුරින් සංචාරකයන්ගේ පහසුකම් වැඩි දියුණු කිරීමට පියවර ගන්නා ලෙසත් සීගිරිය නැරඹීමට පැමිණෙන දෙස්‌ විදෙස්‌ සංචාරකයන්ට නිකුත් කරන ප්‍රවේශ පත්‍රය සඳහා සීගිරියේ ඇති වටිනාකම පිළිබඳව පුරාවිද්‍යාත්මක ස්‌ථානයක හැසිරිය යුතු ආකාරය පිළිබඳව සටහන් අත් පත්‍රිකාවක්‌ ලබාදීමට පියවර ගන්නා ලෙසත් දැනට අවිධිමත් සංචාරක මඟ පෙන්වන්නන්ගේ කාර්ය භාරය වඩාත් විධිමත් අයුරින් රටේ අනන්‍යතාවය ආරක්‍ෂාව මත සිදු කිරීමට අවශ්‍ය දැනුම හා මාර්ගෝපදේශනය හා තොරතුරු ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් වගකිවයුතු අංශවලට උපදෙස්‌ දුන්නේය. මේ සඳහා ලාංකීය විද්වතුන්ගේ සහාය ලබාගන්නා ලෙසට ද උපදෙස්‌ දුන්නේය.(Divaina)

No comments: