Action with a heart Headline Animator

Friday, August 27, 2010

මත් පැන් බී රෝගීවූ අයට රෝහලේදී ප්‍රතිකාර වෙනුවෙන් ගාස්‌තුවක්‌ ලබන වසරේ සිට අයකරන බව සෞඛ්‍ය ඇමැති කියයි

මත්පැන් (ඇල්කොහොල්) පානය කිරීමෙන් රෝගාතුරව රජයේ රෝහල්වලට ඇතුළත් කෙරෙන රෝගීන්ගෙන් ලබන වසරේ සිට ඔවුන්ගේ ප්‍රතිකාර සඳහා වැයවන ගාස්‌තුව අය කරගන්නා බව සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (26 දා) පැවසීය.සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වාර්ෂිකව හෘද රෝග, අධි රුධිර පීඩනය, දියවැඩියාව, වකුගඩු රෝග වැනි බෝ නොවන රෝග හා හදිසි අනතුරුවලින් ඇතිවන ආබාධවලට ප්‍රතිකාර කිරීම සඳහා රුපියල් කෝටි 350 කට අධික මුදලක්‌ වැය කරන අතර එම මුදලින් වැඩි ප්‍රතිශතයක්‌ වැය වනුයේ මත්පැන් පානය කිරීමෙන් එම රෝගවලට ගොදුරු වන්නන් වෙනුවෙන් බව ඇමැතිවරයා කීවේය. බෝ නොවන රෝගවලට ගොදුරු වීමෙන් දිනකට 300 ත් 350 ත් අතර සංඛ්‍යාවක්‌ මියයන බව අනාවරණය වී ඇති අතර හදිසි අනතුරුවලට වසරකට 50,000 ක්‌ ගොදුරු වී 2000 ක්‌ මියයන බව හෙළිවී ඇතැයි කී සෞඛ්‍ය ඇමැතිවරයා මෙම තත්ත්වයට ප්‍රධාන වශයෙන් වගකිව යුත්තේ මත්පැන් පානය කිරීම බව අවධාරණය කළේය.මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන මත්පැන් පානය කිරීම අධෛර්යමත් කිරීමේ හා මත්පැන් පානය කර රෝගාතුර වන්නන් වෙනුවෙන් වැය කිරීමට සිදුවන අධික මුදල අවම කර ගැනීමේ අරමුණින් මත්පැන් පානය කර රෝගාතුර වන පුද්ගලයන්ගෙන් ගාස්‌තුවක්‌ අය කර ගැනීමට පියවර ගන්නා බව ඔහු පැවසීය.රජයේ රෝහල් වෛද්‍යවරුන්ගේ නිර්දේශය මත එවැනි රෝගීන්ගෙන් ගාස්‌තුව අයකර ගන්නා බවත්, ඉදිරියේදී එම ගාස්‌තුව සම්බන්ධව ප්‍රකාශයට පත් කරන බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.නවක හෙද හෙදියන් 550 දෙනකුට පත්වීම් ලබාදීම නිමිත්තෙන් ඊයේ (26 දා) මහනුවර පැවැති උත්සවයකදී සෞඛ්‍ය ඇමැතිවරයා මෙම කරුණු අනාවරණය කළේය.(Divaina)

No comments: