Action with a heart Headline Animator

Wednesday, August 25, 2010

ශාලාධිපති නිරීක්‍ෂකයකු ලවා තම පුතාට ඉංග්‍රීසි උගන්නලා

උසස්‌ පෙළ විභාග මධ්‍යස්‌ථානයකදී

මහනුවර ප්‍රදේශයේ උසස්‌ පෙළ විභාග මධ්‍යස්‌ථානයක ශාලාධිපතිවරයෙක්‌ සිය පුත්‍රයා විභාග මධ්‍යස්‌ථානයට ගෙන්වා එහි සිටි විභාග නිරීක්‍ෂකයකු ලවා ඉංග්‍රීසි ඉගැන්වීමේ සිද්ධියක්‌ අනාවරණය වී ඇත.උසස්‌ පෙළ සිසුන්ට සාමාන්‍ය ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය පැවැති පසුගිය 20 වැනිදා සිදු වූ මෙම සිද්ධියට සම්බන්ධ ශාලාධිපතිවරයා සහ නිරීක්‍ෂකයා සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා බව මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් විභාග කොමසාරිස්‌ ජනරාල් අනුර එදිරිසිංහ මහතා පැවැසීය.ශාලාධිපතිවරයාගේ පුත්‍රයා ලබන දෙසැම්බර් මස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටින අයෙකි. ඔහුට ඉංග්‍රීසි ඉගැන්වීමට විභාග නිරීක්‍ෂකයකු නිදහස්‌ කර ගැනීම සඳහා මෙම ශාලාධිපතිවරයා අපූරු ක්‍රමයක්‌ අනුගමනය කර තිබේ.විභාග දෙපාර්තමේන්තුව උපදෙස්‌ දී ඇත්තේ එක පන්ති කාමරයක්‌ සඳහා විභාග අපේක්‍ෂකයන් විසිදෙනකු පමණක්‌ ඇතුළත් කරන ලෙසය. මෙම ශාලාධිපතිවරයා පන්ති කාමරයකට විභාගාපේක්‍ෂකයන් වැඩි පිරිසක්‌ ඇතුළත් කර සිය පුත්‍රයා වෙනුවෙන් නිරීක්‍ෂකයකු නිදහස්‌ කරගෙන තිබේ. ඉංග්‍රීසි ඉගැන්වීම සඳහා තෝරාගෙන ඇත්තේ ද විභාගාපේක්‍ෂකයන් වෙනුවෙන් සකස්‌ කර තිබූ පන්ති කාමරයකි. මෙහි විශේෂත්වයක්‌ වන්නේ ඉංග්‍රීසි ඉගැන්වීම සඳහා විභාගයට පිළිතුරු ලියන කඩදාසිම භාවිත කිරීමය. මෙම සිද්ධිය අනාවරණය වී ඇත්තේ විභාග දෙපාර්තමේන්තු නිලධාරීන් කිහිපදෙනෙක්‌ එම විභාග මධ්‍යස්‌ථානය අධීක්‍ෂණය කිරීම සඳහා ගොස්‌ සිටි අවස්‌ථාවේ යෑයි මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කීවේය.මෙම ශාලාධිපතිවරයා එක්‌ පන්ති කාමරයකට විභාගාපේක්‍ෂකයන් වැඩි පිරිසක්‌ ඇතුළත් කරමින් විභාග නීතිය මුළුමනින්ම උල්ලංඝනය කර ඇතැයි ද බාහිර පුද්ගලයන්ට පැමිණීමට නොහැකි සිය පුත්‍රයා විභාග මධ්‍යස්‌ථානයට ගෙන්වා ගැනීම බරපතල වරදක්‌ යෑයි ද අප කළ විමසුමේදී අනුර එදිරිසිංහ මහතා පැවැසීය. එමෙන්ම පිළිතුරු ලියන කඩදාසි සිය පෞද්ගලික කටයුතු සඳහා යොදාගැනීම ද බලවත් වරදක්‌ යෑයි ඒ මහතා සඳහන් කළේය. එමෙන්ම විභාග නිරීක්‍ෂකයා සිය රාජකාරියෙන් බැහැරව පෞද්ගලික කටයුතුවල නිරත වීම නීති විරෝධී යෑයි ද අනුර එදිරිසිංහ මහතා කීවේය.

No comments: