Action with a heart Headline Animator

Wednesday, August 25, 2010

පසුගිය වසරේදී මත්පැන් ලීටර් කෝටි 14 ක්‌ බොති

ශ්‍රී ලාංකිකයන් පසුගිය වසරේදී (2009) මත්පැන් ලීටර් දාහතරකෝටි දහනව ලක්‌ෂ තිස්‌ හය දහස්‌ අටසිය හතලිස්‌ දෙකක්‌ පානය කර ඇතැයි සුරාබදු කොමසාරිස්‌ ජනරාල්aවරයාගේ පාලන වාර්තාව පෙන්වා දෙයි.
එම වසරේදී ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කළ මත්පැන් ප්‍රමාණය ලීටර් දසකෝටි නව ලක්‌ෂ අසූතුන්දහස්‌ එකසිය දාහතක්‌ බව ද දේශීය මත්පැන්වලින් රජය ලැබූ බදු ආදායම රුපියල් කෝටි දෙදහස්‌ අටසිය පනස්‌ එකක්‌ බව ද අදාළ වාර්තාවේ සඳහන් වේ.
විදෙස්‌ මත්පැන් මගින් රුපියල් තිස්‌නවකෝටි විසි හයලක්‌ෂ අසූහය දහස්‌ දෙසිය දහයක ආදායමක්‌ රජයට ලැබී ඇති අතර එම වසරේදී පමණක්‌ මත්පැන් බලපත්‍ර 970 ක්‌ නිකුත් කර ඇතැයිද පාලන වාර්තාව සඳහන් කරයි. කොළඹ දිස්‌ත්‍රික්‌කයට බලපත්‍ර 163 ක්‌ද, යාපනය දිස්‌ත්‍රික්‌කයට බලපත්‍ර 157 ක්‌ ද නිකුත් කර තිබෙන අතර යාපනයට වැඩියෙන් නිකුත් කර තිබෙන්නේ රා තැබෑරුම් සඳහා බලපත්‍ර බව ද වාර්තාවේ දැක්‌වේ.අදාළ වසර තුළදී වැඩිපුර මත්පැන් පානය කර තිබෙන්නේ කොළඹ දිස්‌ත්‍රික්‌කයේය. ඉන්ද වැඩි ප්‍රමාණයක්‌ අරක්‌කුය. එම ප්‍රමාණය ලීටර් එක්‌කෝටි දස ලක්‌ෂ තිස්‌ හතර දහස්‌ අසූවකි. දෙවනුව වැඩි ප්‍රමාණයක්‌ පානය කර තිබෙන්නේ බීර සහ ස්‌ටවුට්‌ය. එය ලීටර් අනූතුන්ලක්‌ෂ දොළොස්‌ දහස්‌ තුන්සිය තිස්‌ අටකි. විස්‌කි වැඩි ප්‍රමාණයක්‌ පානය කර තිබෙන්නේද කොළඹ දිස්‌ත්‍රික්‌කයේය. එය ලීටර් අසූහය දහස්‌ දෙසිය හතළිස්‌ හයකි. විස්‌කි අඩුවෙන් පානය කර තිබෙන්නේ යාපනයේය. ප්‍රමාණය ලීටර් තුන්සිය තිස්‌ හතකි. යාපනයේ වයින් ලීටර් දෙදහක්‌ පරිභෝජනය කර ඇත. එයද වැඩි ප්‍රමාණය කොළඹය. එය ලීටර් හැට නව දහස්‌ දෙසිය පනස්‌ හයකි.වැඩිපුර රා පානය කර ඇත්තේ මහනුවරය. එය ලීටර් හතළිස්‌ හත්ලක්‌ෂ තිස්‌පන් දහස්‌ හත්සිය හතළිස්‌ හතරකි. දෙවනුව රා වැඩි ප්‍රමාණයක්‌ නුවරඑළියේ පරිභෝජනය කර තිබේ. ප්‍රමාණය ලීටර් හතළිස්‌ හත්ලක්‌ෂ තුන් දහස්‌ හයසිය පනස්‌ අටකි.මෙම සංඛ්‍යා ලේඛන ඇතුළත් 2009 වර්ෂය සඳහා සුරාබදු කොමසාරිස්‌ ජනරාල්වරයාගේ පාලන වාර්තාව පසුගියදා ආණ්‌ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.නීති විරෝධී මත්පැන් පරිභෝජනයද සැලකීමට ගතහොත් ඉහත ප්‍රමාණය තවත් වැඩිවනු ඇත.(Divaina)

No comments: