Action with a heart Headline Animator

Monday, August 30, 2010

ඔබ අන් අය සමඟ කතා බහ කිරීමට මැලිකමක්‌ දක්‌වන්නේද?

අද සමාජයේ ජීවත්වන ඇතැම් පුද්ගලයින් සමාජයට මුහුණ දීමට බියක්‌ හා මැලිකමක්‌ දක්‌වයි. මෙය ඉතා දැඩි වශයෙන් පවතී නම් එය මානසික රෝග තත්ත්වයක්‌ ලෙස සලකා ඒ හා සම්බන්ධ වෛද්‍යවරයෙකුගේ උපදේශනයක්‌ කරා යොමුවිය යුතුය. නමුත් බොහෝවිට මෙම තත්ත්වය ඇතිවන්නේ තමාගේ සිත තුළින්මය. ඔබ සෑම විටම සෘණාත්මක ආකල්ප හා "බැහැ" යන මතයේ සිටී නම් මෙම තත්ත්වය බෙහෙවින් සාමාන්‍ය වන අතරම එය ඔබටම මඟහරවා ගත හැකිය. ඔබ අනෙක්‌ අය සමඟ කථා කරන්නේ පොදු ස්‌ථානයක හෝ පෞද්ගලිකව හෝ දුරකථනය භාවිතයෙන් හෝ විය හැකිය. මෙලෙස කථාබහට බිය වන්නේ නම් ඔබ අන් අයගේ අප්‍රසාදයට පත්වන අතරම ඔබට ලැබෙන ව්‍යාපාරික අවස්‌ථා ආදිය මඟ හැරී යාම නිසා ඔබ දොම්නසට පත්වන අවස්‌ථා එමට වේ. එබැවින් පහත කරුණු උපයෝගී කොට ගෙන ඔබට දුරකථන සංවාදයේදී හෝ පොදු අවස්‌ථාවන්හිදී ඇති වන සංවාදය බිය දුරුකරගන්න.


ඔබ අන් අය සමඟ සංවාදශීලි වීමට දැඩි බියක්‌ දක්‌වන්නේ නම් එම පුද්ගලයන් කවුරුන්දැයි මදක්‌ විමසා බලන්න. ඒ ඔබගේ ළඟම මිතුරෙකු හෝ ව්‍යාපාර සහයකයෙකු හෝ විය හැක. එවිට ඔබට අපහසුතාවයකින් තොරව ඔවුන් සමඟ සංවාදයට එළඹීමට හැකිය.

මනා පෞරුෂත්වයකින් යුතු පුද්ගලයෙකු ලෙස සාර්ථකත්වය කරා පිය නැගීම සඳහා ඔබට අන් අයගේ සහය අත්‍යවශ්‍ය වේ. කිසිදු සහයක්‌ නොමැතිව සාර්ථකත්වය කරා පැමිණි කිසිවෙකු නොමැති තරම්ය. එබැවින් සමාජයේ අනෙක්‌ පුද්ගලයන් සමඟ ඇතිකරගන්නා අෙන්‍යන්‍යය සම්බන්ධතා ඔබට වැදගත් වේ. මෙහිදි ඔවුන් සමඟ සුහද සංවාදයකට එළඹීම එම මිත්‍රත්වයේ මූලික අංගයක්‌ ලෙස සැලකිය හැකිය. හැකි සෑම අවස්‌ථාවකදීම ඔබට සුව පහසු මාතෘකාවක්‌ යටතේ සංවාදය අරඹන්න. ඔබ එම මාතෘකාව පිළිබඳව යම් දැනීමක්‌ ඇති නිසා ඔබට කිසිදු බියකින් තොරව සංවාදය ඉදිරියට ගෙන යා හැකිය.

ඔබ කථාබහ කරන විට ඔබගේ නෙත් ඔබගේ සවන්දෙන්නා වෙත යොමු කරන්න. එසේ නොමැතිව ඔබ පොළව දෙස හෝ වහලය දෙස බලාගෙන කථාකරයි නම් අනෙක්‌ අය ඔබගේ ආත්මවිශ්වාසය සුළුකොට තකන අතරම ඔබ කෙරෙහි ඇති පැහැදීමද ඔවුන් කෙරෙන් ඉවත් වනු ඇත.

සෑම විට ම ඔබ ඔබව හඳුනාගෙන ආත්ම විශ්වාසය පෙරදැරි කොට ගෙන කටයුතු කරන්න. එසේ ම ධනාත්මක ආකල්ප දියුණු කරගෙන "බැහැ" , "නැහැ" යන වචන ඔබගේ ශබ්ද කෝෂයෙන් ඉවත් කරන්න. එවිට ඔබට කිසිදු බියකින් හෝ සැකයකින් තොරව අන් අය සමඟ සංවාදය කරගෙන යාමට හැකි වන අතරම ඔබගේ ඉදිරි වැඩකටයුතු සඳහා ඔවුන්ගේ සහාය ලබා ගැනීමටද හැකි වනු ඇත.

No comments: