Action with a heart Headline Animator

Thursday, August 26, 2010

රෝහල්වලට බෙදා හැරීමේදී විෂමතාවක්‌... රෝහල් වෛද්‍ය උපකරණ පිළිබඳ සංගණනයක්‌

දිවයින පුරා පිහිටි රජයේ රෝහල් 1016 අතර වෛද්‍ය උපකරණ බෙදා හැරීමේදී විෂමතාවක්‌ හටගෙන ඇති බව පෙනී ගොස්‌ තිබීම හේතුවෙන් එම රෝහල් සතු වෛද්‍ය උපකරණ සම්බන්ධව දීප ව්‍යාප්ත සංගණනයක්‌ සිදුකිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත.දිවයිනේ ඇතැම් ප්‍රධාන රජයේ රෝහල්වල රෝගී සත්කාර සේවා පහසුකම් හා වෛද්‍ය කාර්ය මණ්‌ඩල අවශ්‍ය පමණ සිටියදී ඇතැම් වෛද්‍ය උපකරණ ප්‍රමාණවත්ව නොමැති බව පෙනී ගොස්‌ ඇති අතර තවත් සමහර ග්‍රාමීය හා කුඩා රෝහල්වලට ප්‍රමාණවත් රෝගී සත්කාර සේවා පහසුකම් හා වෛද්‍ය කාර්ය මණ්‌ඩල නොතිබියදීත් වෛද්‍ය උපකරණ නිකරුණේ ලබාදී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ ප්‍රකාශකයෙක්‌ "දිවයින"ට පැවසීය. ඇතැම් ප්‍රධාන රෝහල්වල ප්‍රමාණවත් පරිදි වෛද්‍ය උපකරණ නොතිබීම හේතුවෙන් රෝගීන්ට රෝගී සත්කාර සේවාවන් ලබා ගැනීම සඳහා පොරොත්තු ලේඛනයෙහි සිටීමට සිදුව ඇතැයි ඔහු සඳහන් කළේය.මෙම තත්ත්වය මත පවත්වනු ලබන සංගණනයේදී වෛද්‍ය උපකරණ බෙදා හැරීමේදී විෂමතාවක්‌ සිදුව ඇති බව තහවුරු වුවහොත් අවශ්‍ය රෝහල් සඳහා වෛද්‍ය උපකරණ ප්‍රමාණවත් පරිදි බෙදා හැරීමට කටයුතු කරන බව එම ප්‍රකාශකයා කීවේය.දිවයින පුරා රජයේ රෝහල්වල සෞඛ්‍ය අමාත්‍යංශයට තොරතුරු ලබා නොදුන් එක්‌ස්‌ රේ උපකරණ, සීටී ස්‌කෑන් ඇතුළු වෛද්‍ය උපකරණ අසූදහසක්‌ පමණ භාවිත වන බවත් එම උපකරණ රාජ්‍ය හා අන්තර් ජාතික සංවිධාන හරහා පරිත්‍යාගයන් වශයෙන් එම රෝහල්වලට ලැබී ඇති බවත් හෙතෙම සඳහන් කළේය.වෛද්‍ය උපකරණ පිළිබඳව පවත්වනු ලබන සංගණනයේදී මෙම උපකරණ සම්බන්ධවද සොයා බැලෙන බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.(Divaina)

No comments: